Categories
ඉටි වර්ග හඳුනාගනිමු, ආරම්භක මාර්ගෝපදේශය

ඉටි වර්ග හඳුනාගනිමු, ආරම්භක මාර්ගෝපදේශය

Posted by Bawantha Perera on 28th May 2026

ඉටි වර්ග හඳුනාගනිමු: ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ඉටි තෝරා ගැනීම සඳහා ආරම්භක මාර්ගෝපදේශය

ඔබ ඉටිපන්දම් නිෂ්පාදනය ආරම්භ කරන අයෙකු නම්, නිවැරදි ඉටි වර්ගය තෝරා ගැනීම ටිකක් අපහසු විය හැකිය. ඉටි බතික් (Batik), රූපලාවන්‍ය නිෂ්පාදන, Wax Melts, Polish, සහ තවත් බොහෝ නිෂ්පාදන සඳහාද භාවිතා කරයි. වෙළඳපොළේ විවිධ ඉටි වර්ග බොහොමයක් ඇති අතර, ඒවායේ දියවන උෂ්ණත්වය, දෘඪතාව, පෙනුම සහ භාවිතයන් එකිනෙකට වෙනස් වේ. සමහර ඉටි ශාකවලින් ලැබෙන අතර, සමහර ඒවා මී මැස්සන්ගෙන් ලැබේ. තවත් ඉටි වර්ග ඛනිජ තෙල් පිරිපහදු කිරීමෙන් නිපදවනු ලැබේ.

සියලුම කාර්යයන් සඳහා ගැලපෙන "හොඳම ඉටි වර්ගයක්" නොමැත. ඔබ තෝරා ගත යුතු ඉටි වර්ගය ඔබ සෑදීමට බලාපොරොත්තු වන නිෂ්පාදනය මත රඳා පවතී. බහාලුම් ඉටිපන්දම (Container Candle) සඳහා සුදුසු ඉටි වර්ගයක් කුළුණු ඉටිපන්දම(Pillar Candle) සඳහා සුදුසු නොවිය හැකිය. බතික් සඳහා භාවිතා කරන ඉටි වර්ගයක් රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා හොඳම තේරීම නොවිය හැකිය. එසේම රූපලාවන්‍ය සඳහා භාවිතා කරන ඉටි වර්ගයක් ඉටි පන්දම් සෑදීම සඳහා සුදුසු නොවිය හැකිය.

ඉටි (Wax) යනු කුමක්ද?

ඉටි යනු රත් කළ විට දියවන සහ සිසිල් වූ විට නැවත ඝන වන ද්‍රව්‍යයකි. බොහෝ ඉටි ජලය විකර්ෂණය කරයි, මතුපිට ආරක්ෂා කරයි, සුවඳ, වර්ණ හෝ වෙනත් අමුද්‍රව්‍ය රඳවා ගැනීමට උපකාරී වේ.

ඉටි විවිධ කර්මාන්ත සහ නිර්මාණ සඳහා භාවිතා කරයි. උදාහරණ ලෙස,

  • ඉටි පන්දම් නිෂ්පාදනය
  • බතික් රෙදි නිර්මාණ
  • රූපලාවන්‍ය සහ පුද්ගලික සත්කාර නිෂ්පාදන
  • Wax Melts
  • ගෘහ භාණ්ඩ සහ සපත්තු Polish
  • දැව ආලේපන සහ Varnish
  • Crayon සහ කලා නිර්මාණ
  • ඇසුරුම් සහ ජල ආරක්ෂිත ආලේපන
  • කර්මාන්තමය සහ විශේෂ භාවිතයන්

ඉටි ඒවා ලැබෙන ප්‍රභවය අනුව ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදිය හැකිය.

  • ඛනිජ ඉටි (Mineral Waxes) ඛනිජ තෙල්වලින් නිපදවනු ලැබේ.
  • ස්වාභාවික ඉටි (Natural Waxes) ශාක හෝ මී මැස්සන්ගෙන් ලබා ගනී.
  • විශේෂ ඉටි (Specialty Waxes) විශේෂ භාවිතයන් සඳහා නිපදවන හෝ වෙනස් කරන ලද ඉටි.

සෑම ඉටි වර්ගයකටම තමන්ටම ආවේණික වූ ගුණාංග ඇති අතර, ඒවා විවිධ නිෂ්පාදන සඳහා සුදුසු වේ.

බහුලව භාවිතා වන ඉටි වර්ග

කාණ්ඩය උදාහරණ
ඛනිජ ඉටි (Mineral Waxes) Paraffin Wax, Microcrystalline Wax
ස්වාභාවික ශාක ඉටි (Natural Plant Waxes) Soy Wax, Coconut Wax, Palm Wax, Rice Bran Wax, Rapeseed Wax, Sumac Wax, Carnauba Wax
ස්වාභාවික සත්ව ඉටි (Natural Animal Waxes) Beeswax
විශේෂ ඉටි (Specialty Waxes) Gel Wax, Sand Wax
ඉටි ආකලන (Wax Additives) Stearin (Stearic Acid), Polyethylene (PE) Wax

1. පැරෆින් ඉටි (Paraffin Wax)

පැරෆින් ඉටි යනු ලොව පුරා ඉටි පන්දම් නිෂ්පාදනය සඳහා වැඩිපුරම භාවිතා වන ඉටි වර්ගයයි. මෙය ඛනිජ තෙල් පිරිපහදු කිරීමේදී නිපදවන ඛනිජ ඉටි වර්ගයකි. අඩු මිල, භාවිතයට පහසු වීම, හොඳ සුවඳ විහිදීම සහ ස්ථාවර ගුණාත්මකභාවය නිසා මෙය ඉතා ජනප්‍රියය. ඉටි පන්දම්වලට අමතරව බතික්, Wax Melts*, පොලිෂ්, ආලේපන, රූපලාවන්‍ය සහ තවත් බොහෝ කර්මාන්තමය නිෂ්පාදන සඳහාද මෙය බහුලව භාවිතා වේ.

සම්පූර්ණයෙන්ම පිරිපහදු කළ පැරෆින් ඉටි සහ අර්ධ පිරිපහදු කළ පැරෆින් ඉටි

Fully Refined Paraffin Wax: සම්පූර්ණයෙන්ම පිරිපහදු කළ පැරෆින් ඉටි හි තෙල් ප්‍රමාණය ඉතා අඩුය. එය සුදු පැහැයෙන් යුක්ත වන අතර, ගන්ධය ඉතා අඩුය. එය වඩා හොඳ කාර්යසාධනයක් ලබා දෙන නිසා බොහෝ ඉටි පන්දම්, බතික් සහ හස්ත කර්මාන්ත සඳහා වඩාත් සුදුසුය.

Semi-Refined Paraffin Wax: අර්ධ පිරිපහදු කළ පැරෆින් ඉටි (සමහර විට පිරිපහදු නොකළ පැරෆින් ඉටි ලෙසද විකුණනු ලැබේ) මේ ඉටි තුළ තෙල් ප්‍රමාණය වැඩිය. එය තරමක් මෘදු වන අතර ලා කහ පැහැයක් දක්වයි. මෙය කර්මාන්තමය නිෂ්පාදන, බතික්, පොලිෂ් සහ අඩු වියදම් ඉටි පන්දම් සඳහා බහුලව භාවිතා වේ.

දියවන උෂ්ණත්ව ශ්‍රේණි (Melting Grades)

පැරෆින් ඉටි විවිධ දියවන උෂ්ණත්ව ශ්‍රේණි වලින් ලබා ගත හැකිය. ඉටි පන්දම් නිෂ්පාදනය සඳහා වැඩිපුරම භාවිතා වන්නේ #58, #60, #62 සහ #64 ශ්‍රේණි වේ.

  • අඩු දියවන උෂ්ණත්ව ශ්‍රේණි මෘදු වන අතර Container Candles සඳහා වඩාත් සුදුසුය.
  • ඉහළ දියවන උෂ්ණත්ව ශ්‍රේණි දැඩි වන අතර Pillar Candles සඳහා වඩාත් සුදුසුය.

පැරෆින් ඉටි වල වාසි

  • මිල අඩු වන අතර පහසුවෙන් ලබා ගත හැකිය.
  • සුවඳ සහ වර්ණ හොඳින් ලබා දෙයි.
  • විවිධ දියවන උෂ්ණත්ව ශ්‍රේණි වලින් ලබා ගත හැකිය.
  • භාවිතයට පහසු වන අතර ආරම්භකයින්ට ඉතා සුදුසුය.
  • විවිධ නිෂ්පාදන සඳහා භාවිතා කළ හැකිය.

පැරෆින් ඉටි වල සීමාවන්

  • ඛනිජ තෙල්වලින් නිපදවන අතර, නැවත නිපදවිය හැකි ස්වාභාවික සම්පතක් නොවේ (Non Renewable).
  • සිසිල් වන විට සුළු වශයෙන් හැකිලිය හැකිය.
  • සම්පූර්ණයෙන්ම ස්වාභාවික ඉටි සොයන අයට වඩාත් සුදුසු නොවේ.

පැරෆින් ඉටි වඩාත් සුදුසු භාවිතයන්

  • බහාලුම් සහ කුළුණු ඉටිපන්දම් (Container Candles & Pillar Candles)
  • බතික් රෙදි නිර්මාණ
  • Wax Melts
  • වෙනත් ඉටි සමග මිශ්‍රණ කිරීම සදහා
  • ගෘහ භාණ්ඩ සහ සපත්තු පොලිෂ්
  • ආරම්භකයින් සඳහා
  • ප්‍රබල සුවඳක් අවශ්‍ය ඉටි පන්දම්

2. මී ඉටි (Beeswax)

මී ඉටි යනු මී මැස්සන් විසින් නිපදවන ස්වාභාවික ඉටි වර්ගයකි. වැඩ කරන මී මැස්සන් (Worker Bees) තම ශරීරයේ ඇති විශේෂ ඉටි ග්‍රන්ථි (Wax Glands) මඟින් මෙම ඉටි නිපදවා, මී වදය (Honeycomb) සෑදීමට භාවිතා කරයි. මී පැණි ලබා ගැනීමෙන් පසු, මී වදය පිරිසිදු කර, උණු කර, පෙරා මී ඉටි ලබා ගනී.

මී ඉටි යනු මිනිසුන් විසින් ඉතා ඈත අතීතයේ සිට භාවිතා කරන පැරණිතම ඉටි වර්ගයකි. එය ස්වාභාවික වීම, දිගු කාලයක් දැවීම, අලංකාර පෙනුම සහ විවිධ භාවිතයන් නිසා ඉතා ජනප්‍රියය. Premium Candles, රූපලාවන්‍ය නිෂ්පාදන, සබන් සහ ලී හෝ සම් පොලිෂ් නිෂ්පාදන සඳහා මෙය බහුලව භාවිතා වේ.

2a Yellow Beeswax

කහ මී ඉටි (සාමාන්‍ය) යනු මී ඉටිවල ස්වාභාවික ආකාරයයි. මී වදය එකතු කළ පසු එය උණු කර, මී පැණි, ඉටි කැබලි සහ අනෙකුත් ස්වාභාවික අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පෙරනු ලැබේ. මෙම ක්‍රියාවලියෙන් පසු එහි ස්වාභාවික රන්වන් කහ පැහැය (Golden Yellow Colour) රඳවා ගනී.

පිරිපහදු නොකළ (Unrefined) Yellow Beeswax වල සාමාන්‍යයෙන් මෘදු ස්වාභාවික මී පැණි සුවඳක් ඇත. මෙම සුවඳේ ප්‍රබලත්වය මී මැස්සන් මල්වලින් එකතු කළ මල් පැණි සහ නිෂ්පාදන ක්‍රියාවලිය අනුව වෙනස් විය හැකිය. පිරිපහදු කළ (Refined) Yellow Beeswax වල මෙම ස්වාභාවික සුවඳ ඉතා අඩු හෝ නොමැති විය හැකිය.

කහ මී ඉටි වල වාසි

  • 100% ස්වාභාවික සහ නැවත ලබාගත හැකි සම්පතකි.
  • ස්වාභාවික රන්වන් කහ පැහැයක් ඇත.
  • මෙය සෝයා සහ පොල් ඉටි වැනි මෘදු ඉටි සමඟ මිශ්‍ර කිරීමට ඉතා සුදුසු ස්වාභාවික ඉටියකි. එය ඉටි මිශ්‍රණයේ දෘඪතාව, ශක්තිය සහ නම්‍යශීලී බව වැඩි කරන අතර, පෙට්‍රෝලියම් වලින් සාදන මයික්‍රොක්‍රිස්ටලයින් ඉටි සඳහා තිරසාර ස්වාභාවික විකල්පයක් ලෙස භාවිතා කළ හැක.
  • දිගු කාලයක් දැවෙන අතර දීප්තිමත් දැල්ලක් ලබා දෙයි.
  • පිරිපහදු නොකළ මී ඉටිවල ස්වාභාවික මී පැණි සුවඳක් ඇත.
  • ඉටි පන්දම් සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ඉතා සුදුසුය.

කහ මී ඉටි වල සීමාවන්

  • පැරෆින් ඉටි වලට වඩා මිල අධිකය.
  • ස්වාභාවික වර්ණය නිසා එක Batch එකකින් තවත් Batch එකකට සුළු වෙනස්කම් තිබිය හැකිය.
  • තද කහ පැහැය නිසා ලා පැහැති ඉටි පන්දම් සහ රූපලාවන්‍ය නිෂ්පාදනවල වර්ණයට බලපෑ හැකිය.

2b සුදු මී ඉටි (White Beeswax)

සුදු මී ඉටි නිපදවන්නේ කහ මී ඉටි භාවිතා කරමිනි. පළමුව එය හොඳින් පිරිසිදු කර පෙරා ගනී. ඉන්පසු සාමාන්‍යයෙන් ස්වාභාවික හිරු එළිය (Sun Bleaching) මඟින් එහි වර්ණය ක්‍රමයෙන් සුදු කරයි. සමහර නිෂ්පාදකයන් වෙනත් අනුමත විරංජනය කිරීම (Bleaching) ක්‍රමද භාවිතා කරයි. මෙම ක්‍රියාවලියෙන් පසු මී ඉටිවල බොහෝ ගුණාංග රඳවා ගනිමින් එහි ස්වාභාවික කහ පැහැය ඉවත් කරයි.

සුදු මී ඉටි පිරිසිදු සුදු පැහැයෙන් යුක්ත වන අතර සාමාන්‍යයෙන් ස්වාභාවික මී පැණි සුවඳ ඉතා අඩු හෝ නොමැත. එකම වර්ණයෙන් නිෂ්පාදන සෑදීම වැදගත් වන විට මෙය වඩාත් ජනප්‍රිය තේරීමකි.

සුදු මී ඉටි වල වාසි

  • පිරිසිදු සුදු පැහැයක් ඇත.
  • වර්ණ එකතු කරන ඉටි පන්දම් සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා වඩාත් සුදුසුය.
  • කහ මී ඉටි මෙන්ම, මෙයද සෝයා, පොල් සහ අනෙකුත් ශාකමය ඉටිවල දෘඪතාව, ශක්තිය සහ නම්‍යශීලී බව වැඩි කරයි. එහි ස්වාභාවික සුදු පැහැය නිසා, පෙට්‍රෝලියම් වලින් සාදන මයික්‍රොක්‍රිස්ටලයින් ඉටි සඳහා හොඳම තිරසාර ස්වාභාවික විකල්පයකි.
  • Batch අතර වර්ණයේ වෙනස්කම් ඉතා අඩුය.
  • ස්වාභාවික මී පැණි සුවඳ ඉතා අඩු හෝ නොමැත.

සුදු මී ඉටි වල සීමාවන්

  • සාමාන්‍යයෙන් කහ මී ඉටි වලට වඩා මිල අධිකය.
  • ස්වාභාවික මී පැණි සුවඳ බොහෝ දුරට නැති වී යයි.
  • කහ මී ඉටි තරම් ස්වාභාවික පෙනුමක් නොමැත.

සුදු මී ඉටි වල වඩාත් සුදුසු භාවිතයන්

  • Premium Candles
  • රූපලාවන්‍ය නිෂ්පාදන
  • Lip Balm සහ සබන්
  • ගෘහ භාණ්ඩ සහ සම් සඳහා පොලිෂ්
  • ඉටි මිශ්‍රණ (අනිකුත් ඉටි සමග මිශ්‍ර කිරීමට)

3. සෝයා ඉටි (Soy Wax)

සෝයා ඉටි යනු සෝයා බෝංචි තෙල් භාවිතයෙන් නිපදවන ස්වාභාවික ඉටියකි (hydrogenated soy bean oil). එය ඉතා අඩු දුමක් සමඟ පිරිසිදුව දැවෙන අතර, පරිසර හිතකාමී සහ ජෛව විඝටනය වන නිසා ස්වාභාවික ඉටිපන්දම් සෑදීම සඳහා වඩාත් ජනප්‍රිය ඉටි වර්ගයකි. සෝයා ඉටි ප්‍රධාන වශයෙන් මෘදු සෝයා ඉටි (soft) සහ දෘඪ සෝයා ඉටි (hard) ලෙස වර්ග දෙකකින් ලබාගත හැක.

මෘදු සෝයා ඉටි (Soft Soy Wax / Container Soy Wax)

මෘදු සෝයා ඉටි සාමාන්‍යයෙන් 45–50°C අතර දියවන අතර, විශේෂයෙන් කන්ටේනර් ඉටිපන්දම් (Container candles) සඳහා නිර්මාණය කර ඇත. මෙය මෘදු, ක්‍රීම් වැනි ස්වභාවයක් හෝ ඇතින මිරිකිය හැකි ස්වභාවයක් ඇති අතර සුවඳ හොඳින් විහිදවයි. ඝන වූ පසුවද තරමක් මෘදු බැවින්, තනිව සිටින (Free-standing) හෝ කුළුණු ඉටිපන්දම් සඳහා සුදුසු නොවේ. ශ්‍රී ලංකාවේ උණුසුම් කාලගුණය තුළ පිරිසිදු මෘදු සෝයා ඉටි තවදුරටත් මෘදු විය හැක.

මෘදු සෝයා ඉටි වඩාත් සුදුසු වන්නේ:

  • කන්ටේනර් ඉටිපන්දම් (වීදුරු, ටින්, පිගන්මටි සහ ජීප්සම් බඳුන්)
  • සුවඳ ඉටිපන්දම්
  • ආරම්භකයන් සදහා

දෘඪ සෝයා ඉටි (Hard Soy Wax / Pillar Soy Wax)

දෘඪ සෝයා ඉටි සාමාන්‍යයෙන් 50–55°C අතර දියවන අතර, වඩා ශක්තිමත් සහ දෘඪ ඉටිපන්දම් නිපදවයි. එය මෝල්ඩ් වලින් පහසුවෙන් ඉවත් කළ හැකි අතර Pillar ඉටිපන්දම්*, Wax Melts, සහ අනෙකුත් මෝල්ඩ් කළ ඉටිපන්දම් සඳහා සුදුසුය. එහි ඉහළ දියවන උෂ්ණත්වය නිසා ශ්‍රී ලංකාවේ උණුසුම් කාලගුණයටද වඩාත් ගැලපේ. ශක්තිමත් Pillar ඉටිපන්දම් සඳහා බොහෝවිට සුදු මී ඉටි හෝ මයික්‍රොක්‍රිස්ටලයින් ඉටි සමඟ මිශ්‍ර කර භාවිතා කරයි.

වඩාත් සුදුසු වන්නේ:

  • Pillar ඉටිපන්දම්* (සුදු මී ඉටි හෝ මයික්‍රොක්‍රිස්ටලයින් ඉටි සමඟ මිශ්‍ර කළ විට)
  • Wax Melts සහ Tarts
  • මෝල්ඩ් කළ ඉටිපන්දම්
  • උණුසුම් කාලගුණය

ෆ්‍රොස්ටින් (Frosting): සෝයා ඉටිපන්දම් මතුපිට කාලයත් සමඟ සුදු පැහැති ස්ඵටිකමය ස්වරූපයක් ඇති විය හැක. මෙය Frosting ලෙස හැඳින්වෙන අතර, ස්වාභාවික සෝයා ඉටිවල සාමාන්‍ය ලක්ෂණයකි. මෙය ඉටිපන්දමේ ගුණාත්මකභාවයට, ආරක්ෂාවට හෝ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් නොකරයි.

සෝයා ඉටි මිශ්‍රණ (Soy Wax Blends)

සෝයා ඉටි බොහෝවිට අනෙකුත් ඉටි සමඟ මිශ්‍ර කර එහි කාර්යසාධනය වැඩි දියුණු කරයි. Soy-Coconut, Soy-Beeswax, සහ Parasoy (Soy-Paraffin) වැනි මිශ්‍රණ මඟින් සුවඳ විහිදීම වැඩි කිරීම, Frosting අඩු කිරීම, දෘඪතාව වැඩි කිරීම සහ වඩා හොඳ නිමාවක් ලබාදීම සිදු කරයි.

4. පොල් ඉටි (Coconut Wax)

පොල් ඉටි යනු පොල් තෙල් භාවිතයෙන් නිපදවන ස්වාභාවික ශාකමය ඉටියකි (hydrogenated coconut oil). එය පරිසර හිතකාමී, ජෛව විඝටනය වන අතර, ඉතා සුමට හා ක්‍රීම් වැනි නිමාවක් සහ පිරිසිදු දැවීමක් ලබා දෙයි. ස්වාභාවික ඉටි අතරින් සුවඳ හොඳින් විහිදවීමේ හැකියාව වැඩිම ඉටි වර්ගයකි. එය ස්වභාවයෙන්ම ඉතා මෘදු වන අතර දියවන උෂ්ණත්වයද අඩු (සාමාන්‍යයෙන් 35–45°C) බැවින්, තනිවම භාවිතා කරන්නේ කලාතුරකිනි.

පොල් ඉටි බොහෝවිට සෝයා ඉටි, පැරෆින් ඉටි, හෝ මී ඉටි සමඟ මිශ්‍ර කර දෘඪතාව, තාප ප්‍රතිරෝධය සහ සමස්ත කාර්යසාධනය වැඩි දියුණු කරයි. පොල්-සෝයා ඉටි මිශ්‍රණ සුඛෝපභෝගී කන්ටේනර් ඉටිපන්දම් සඳහා ඉතා ජනප්‍රිය වන අතර, පැරෆින් හෝ මී ඉටි සමඟ මිශ්‍ර කිරීමෙන් ශ්‍රී ලංකාව වැනි උණුසුම් කාලගුණයට වඩාත් සුදුසු, ශක්තිමත් ඉටිපන්දම් නිපදවිය හැක.

වඩාත් සුදුසු වන්නේ:

  • සුඛෝපභෝගී කන්ටේනර් ඉටිපන්දම් (Luxury Candles)
  • උසස් තත්ත්වයේ සුවඳ ඉටිපන්දම්
  • පොල්-සෝයා, පොල්-පැරෆින් ඉටි මිශ්‍රණ

පොල් ඉටි වල වාසි

  • ස්වාභාවික, පරිසර හිතකාමී ශාකමය ඉටියකි
  • සුවඳ ඉතා හොඳින් විහිදවයි
  • සුමට හා ක්‍රීම් වැනි නිමාවක් ලබා දෙයි
  • ඉතා අඩු දුමක් සමඟ පිරිසිදුව දැවෙයි

පොල් ඉටි වල සීමාවන්

  • තනිව භාවිතා කිරීමට අපහසු වේ, සාමාන්‍යයෙන් වෙනත් ඉටි සමඟ මිශ්‍ර කර භාවිතා කරයි
  • අඩු දියවන උෂ්ණත්වය නිසා උණුසුම් කාලගුණයේදී තවත් මෘදු විය හැක

5. පාම් ඉටි (Palm Wax)

පාම් ඉටි යනු පාම් තෙල් භාවිතයෙන් නිපදවන ස්වාභාවික ශාකමය ඉටියකි (hydrogenated palm oil). එය ඉතා දෘඪ නිමාවක්, හොඳ හැඩ රඳවා ගැනීමේ හැකියාවක් සහ ඉටිපන්දම සිසිල් වන විට ස්වභාවිකව ඇතිවන අලංකාර ස්ඵටික (Crystal) රටා සඳහා ප්‍රසිද්ධය. මෙම විශේෂ රටා නිසා පාම් ඉටි අලංකාර සහ කලාත්මක ඉටිපන්දම් නිෂ්පාදනය සඳහා ජනප්‍රිය තේරීමකි. එහි දියවන උෂ්ණත්වය සාමාන්‍යයෙන් 55–65°C අතර වන අතර, තනිව සිටින (Free-standing) ඉටිපන්දම් සඳහා ඉතා සුදුසුය. Pillar ඉටිපන්දම්, මූර්තිමය (Sculpted) ඉටිපන්දම්, සහ අලංකාර මෝස්තර සහිත ඉටිපන්දම් සඳහා බහුලව භාවිතා කරයි.

පාම් ඉටි වඩාත් සුදුසු වන්නේ:

  • අලංකාර ඉටිපන්දම්
  • කුළුණු, මූර්තිමය (Sculpted) ඉටිපන්දම්
  • මෝල්ඩ් කළ ඉටිපන්දම්

පාම් ඉටි වල වාසි

  • ස්වාභාවික, පරිසර හිතකාමී ශාකමය ඉටියකි
  • අලංකාර ස්වභාවික ස්ඵටික (Crystal) රටා ඇති කරයි
  • ශක්තිමත් හා දෘඪ නිමාවක් ලබා දෙයි
  • මෝල්ඩ් වලින් පහසුවෙන් ඉවත් කළ හැක
  • දිගු කාලයක් දැවෙයි

පාම් ඉටි වල සීමාවන්

  • ස්ඵටික (Crystal) රටා සෑම නිෂ්පාදන කාණ්ඩයකම තරමක් වෙනස් විය හැක
  • කන්ටේනර් ඉටිපන්දම් සඳහා එතරම් සුදුසු නොවේ
  • පරිසර හිතකාමී බව රඳා පවතින්නේ වගකීමෙන් ලබාගත් පාම් තෙල් භාවිතය මතය.

6. මයික්‍රො ඉටි (මයික්‍රොක්‍රිස්ටලයින් ඉටි/Microcrystalline Wax)

මයික්‍රොක්‍රිස්ටලයින් ඉටි (මයික්‍රො ඉටි) යනු පෙට්‍රෝලියම් මූලික ඉටියක් වන අතර, බොරතෙල් පිරිපහදු කිරීමේදී නිපදවනු ලබයි. පැරෆින් ඉටිවලට වඩා මෙහි ඉතා කුඩා ස්ඵටික (Crystal) ව්‍යුහයක් ඇති බැවින්, එය වඩාත් නම්‍යශීලී, මෘදු සහ තරමක් ඇලෙන සුළු ස්වභාවයක් ගනී. මෙය තනිව භාවිතා කරන්නේ කලාතුරකින් වන අතර, බොහෝවිට පැරෆින් ඉටි සහ අනෙකුත් ඉටි සමඟ මිශ්‍ර කර ශක්තිය, නම්‍යශීලී බව, ඇලීමේ හැකියාව සහ ඉරිතැලීම්වලට ඇති ප්‍රතිරෝධය වැඩි කිරීමට භාවිතා කරයි.

ඉටිපන්දම් නිෂ්පාදනයේදී, මෙය Pillar ඉටිපන්දම් ශක්තිමත් කිරීම, මෝල්ඩ් වලින් පහසුවෙන් ඉවත් කිරීම සහ ඉටි මිශ්‍රණවල කල්පැවැත්ම වැඩි කිරීම සඳහා භාවිතා කරයි. ඉටිපන්දම් වලට අමතරව, එය ආලේපන (Cosmetics), Lip Balm, පොලිෂ්, Crayons, මලකඩ ආරක්ෂණ ආලේපන, ඇලවුම් (Adhesives) සහ විවිධ කාර්මික නිෂ්පාදන සඳහාද බහුලව භාවිතා කරයි.

මයික්‍රොක්‍රිස්ටලයින් ඉටි වඩාත් සුදුසු වන්නේ:

  • Pillar ඉටිපන්දම්
  • ඉටි මිශ්‍රණ (Wax Blends)
  • ආලේපන (Cosmetics) සහ Lip Balm
  • පොලිෂ්, Crayons,

මයික්‍රොක්‍රිස්ටලයින් ඉටි වල වාසි

  • නම්‍යශීලී හා කල් පවතින ඉටියකි
  • ඉටි මිශ්‍රණවල ශක්තිය සහ ඇලීමේ හැකියාව වැඩි කරයි
  • ඉරිතැලීම් අඩු කිරීමට උපකාරී වේ
  • හොඳ බන්ධන (Binding) ගුණාංග ඇත

මයික්‍රොක්‍රිස්ටලයින් ඉටි වල සීමාවන්

  • පෙට්‍රෝලියම් මූලික ඉටියකි (ස්වාභාවික හෝ පුනර්ජනනීය ඉටියක් නොවේ)
  • සාමාන්‍යයෙන් තනිව නොව, වෙනත් ඉටි සමඟ මිශ්‍ර කර භාවිතා කරයි
  • 100% ස්වාභාවික ඉටිපන්දම් සඳහා එතරම් සුදුසු නොවේ

7. ජෙල් ඉටි (Gel Wax)

ජෙල් ඉටි ලෙස හැඳින්වුවද, මෙය සැබෑ ඉටි වර්ගයක් නොවේ. ජෙල් ඉටි යනු ඉතා හොඳින් පිරිපහදු කරන ලද ඛනිජ තෙල් වර්ගයක් (Mineral Oil /Paraffin Oil) සහ පොලිමර් රෙසින් වර්ගයක් (Thermoplastic Rubber Copolymers) මිශ්‍ර කර නිපදවන පැහැදිලි, විනිවිද පෙනෙන ජෙල් වර්ගයකි. සාමාන්‍ය ඉටි මෙන් ඝන නොවී, මෙයට මෘදු ජෙලි වැනි ස්වභාවයක් ඇත.

ජෙල් ඉටි ප්‍රධාන වශයෙන් අලංකාර ඉටි පන්දම් (Decorative Candles) නිෂ්පාදනය සඳහා භාවිතා කරයි. එහි පැහැදිලි විනිවිද පෙනෙන ස්වභාවය නිසා බෙල්ලන් කටු (Shells), පාට වැලි (Coloured Sand), වීදුරු පබළු (Glass Beads), Glitter සහ ගිනි නොගන්නා (Non-flammable) වෙනත් අලංකාර ද්‍රව්‍ය ඇතුළත තබා ලස්සන මෝස්තර නිර්මාණය කළ හැකිය. ඉටි ඝන වූ පසුවද මෙම අලංකාර ද්‍රව්‍ය පැහැදිලිව පෙනී සිටී.

ජෙල් ඉටි සාමාන්‍ය Paraffin Wax හෝ ස්වාභාවික ඉටිවලට වඩා වෙනස් ආකාරයකින් දැවේ. එබැවින් **Gel Wax** සඳහාම නිපදවන **Gel-Compatible Fragrances** සහ **Gel-Compatible Dyes** පමණක් භාවිතා කළ යුතුය. සාමාන්‍ය ඉටි පන්දම් සුවඳ තෙල් හෝ වර්ණක භාවිතා කළහොත් ජෙලය මැළවී (Cloudy) යාම, විනිවිදභාවය අඩුවීම හෝ දැවීමේ ගුණාංග වෙනස් වීම සිදුවිය හැකිය.

සාමාන්‍ය ඉටි මෙන් නොව, **Gel Wax** සිසිල් වූ පසුවද මෘදු සහ නම්‍යශීලීව පවතී. එබැවින් මෙය බොහෝ විට **තාපයට ඔරොත්තු දෙන වීදුරු බඳුන් (Heat-Resistant Glass Containers)** තුළ පමණක් භාවිතා කරයි.

ජෙල් ඉටි වල වාසි

  • පැහැදිලි විනිවිද පෙනෙන පෙනුම
  • අලංකාර ඉටි පන්දම් සඳහා ඉතා සුදුසුය
  • ඇතුළත තබන අලංකාර ද්‍රව්‍ය පැහැදිලිව පෙනේ
  • අලංකාර සහ වෙනස් පෙනුමක් ඇති ඉටි පන්දම් නිර්මාණය කළ හැකිය

ජෙල් ඉටි වල සීමාවන්

  • ස්වාභාවික ඉටි වර්ගයක් නොවේ
  • Gel-Compatible Fragrances සහ Gel-Compatible Dyes අවශ්‍ය වේ
  • Pillar Candles හෝ මෝල්ඩ් ඉටි පන්දම් සඳහා සුදුසු නොවේ
  • තාපයට ඔරොත්තු දෙන වීදුරු බහාලුම්වල පමණක් භාවිතා කළ යුතුය
  • සාමාන්‍යයෙන් Paraffin Wax වලට වඩා මිල වැඩිය

අවවාදයයි: ජෙල් ඉටි සහ ඔබෙගේ ආරක්ෂාව: ජෙල් ඉටි සඳහා සුදුසු, ගිනි නොගන්නා (Non-flammable) අලංකාර ද්‍රව්‍ය පමණක් භාවිතා කරන්න. සියලුම අලංකාර ද්‍රව්‍ය වික් (Wick) සහ දැල්ලෙන් ප්‍රමාණවත් දුරින් තබන්න. වියළි මල්, කොළ, කඩදාසි, රෙදි, ප්ලාස්ටික් හෝ වෙනත් ගිනි ගන්නා ද්‍රව්‍ය ඉටි පන්දම තුළ තැබීමෙන් වළකින්න. ඒවා දැල්ලට ළඟා වූ විට ගිනි ගැනීමේ අවදානමක් ඇත. සෑම විටම ඉටි පන්දම් සඳහා නිර්මාණය කරන ලද තාපයට ඔරොත්තු දෙන වීදුරු බඳුන් පමණක් භාවිතා කරන්න.

8. වැලි ඉටි (Sand Wax)

වැලි ඉටි, හෝ සෑන්ඩ් ඉටි යනු වැලි මෙන් පෙනෙන කුඩා ඉටි කැට (Wax Granules) වලින් සමන්විත ඉටි වර්ගයකි. සාමාන්‍ය ඉටි මෙන් නොව, බොහෝ වැලි ඉටි නිෂ්පාදන උණු නොකරම තිරයක් (Wick) දමා තාපයට ඔරොත්තු දෙන බඳුන (Heat-Resistant Container) දමා කෙලින්ම දැල්විය හැකිය. එම නිසා ඉටි පන්දම් සෑදීම ඉතා ඉක්මන්, පහසු සහ ආරම්භකයින්ට සුදුසු වේ.

වෙළඳපොළේ ඇති බොහෝ වැලි ඉටි, හෝ සෑන්ඩ් ඉටි නිෂ්පාදන පැරෆින් ඉටි (Paraffin Wax) මත පදනම් වන අතර, සමහර නිෂ්පාදනවල පාම් ඉටි හෝ වෙනත් ඉටි වර්ගද මිශ්‍ර කර තිබිය හැකිය. නිෂ්පාදන සංයුතිය නිෂ්පාදකයා අනුව වෙනස් විය හැකිය.

වැලි ඉටි වල වාසි

  • භාවිතයට ඉතා පහසුය.
  • බොහෝ නිෂ්පාදන සඳහා ඉටි උණු කිරීම අවශ්‍ය නොවේ.
  • ආරම්භකයින් සඳහා ඉතා සුදුසුය.
  • භාවිතා නොකළ ඉටි කැට බොහෝ විට නැවත භාවිතා කළ හැකිය.
  • අලංකාර Container Candles සඳහා ඉතා සුදුසුය.

වැලි ඉටි වල සීමාවන්

  • Pillar Candles හෝ මෝල්ඩ් ඉටි පන්දම් සඳහා සුදුසු නොවේ.
  • තාපයට ඔරොත්තු දෙන බහාලුම්වල පමණක් භාවිතා කළ යුතුය.
  • සුවඳ හෝ වර්ණ එකතු කිරීම තරමක් දුෂ්කර විය හැක.

වැලි ඉටි වල වඩාත් සුදුසු භාවිතයන්

  • ඉක්මන් ඉටි පන්දම් නිෂ්පාදනය
  • ආරම්භකයින්
  • උත්සව සහ සැරසිලි

වැලි ඉටි සහ ඔබෙගේ ආරක්ෂාව (Safety): සෑම විටම තාපයට ඔරොත්තු දෙන බහාලුමක් (Heat-Resistant Container) සහ සුදුසු Wick එකක් භාවිතා කරන්න. ප්ලාස්ටික්, කඩදාසි හෝ වෙනත් ගිනි ගන්නා බහාලුම් භාවිතා නොකරන්න. ආරක්ෂිත භාවිතය සඳහා නිෂ්පාදකයාගේ උපදෙස් අනුගමනය කරන්න.

9. සහල් නිවුඩ්ඩු ඉටි (Rice Bran Wax)

Rice Bran Wax යනු සහල් නිවුඩ්ඩු තෙල් (Rice Bran Oil) වලින් ලබාගන්නා ස්වාභාවික ශාකමය ඉටි වර්ගයකි. මෙය දැඩි (Hard) ඉටි වර්ගයක් වන අතර, ඉහළ දියවන උෂ්ණත්වයක් ඇත. බොහෝ විට රූපලාවන්‍ය සහ පුද්ගලික සත්කාර නිෂ්පාදන සඳහා භාවිතා කරන අතර, ඉටි පන්දම් නිෂ්පාදනයේදී සමහර විට වෙනත් ඉටි වර්ග සමඟ මිශ්‍ර කර ඉටියේ දෘඪතාව සහ දැවීමේ ගුණාංග වැඩි දියුණු කිරීමට භාවිතා කරයි.

සහල් නිවුඩ්ඩු ඉටි වාසි

  • ස්වාභාවික ශාකමය සහ නැවත ලබාගත හැකි සම්පතකි.
  • දැඩි ස්වභාවයක් සහ ඉහළ දියවන උෂ්ණත්වයක් ඇත.
  • ඉටි මිශ්‍රණවල දෘඪතාව වැඩි කිරීමට උපකාරී වේ.

සහල් නිවුඩ්ඩු ඉටි සීමාවන්

  • තනි ඉටි වර්ගයක් ලෙස ඉටි පන්දම් සඳහා බහුලව භාවිතා නොවේ.
  • අනෙකුත් ස්වාභාවික ඉටි වර්ගවලට වඩා පහසුවෙන් ලබාගත නොහැක.
  • වඩාත් සුදුසු භාවිතයන්
  • රූපලාවන්‍ය නිෂ්පාදන
  • ලිප් බාම් (Lip Balm)
  • ඉටි මිශ්‍රණ (Wax Blends)

10. ස්ටියරින් හෝ ස්ටියරික් අම්ලය (Stearin/Stearic Acid)

ස්ටියරින් හෙවත් ස්ටියරික් අම්ලය සාමාන්‍යයෙන් ප්‍රධාන ඉටි වර්ගයක් ලෙස භාවිතා නොවේ. එය බොහෝ විට ඉටි ආකලනයක් (Wax Additive) ලෙස භාවිතා කරනු ලබන්නේ ඉටි පන්දම්වල දෘඪතාව, පෙනුම සහ දැවීමේ ගුණාංග වැඩි දියුණු කිරීමටයි.

ඉටිවලට ස්ටියරික් අම්ලය එකතු කිරීමෙන් ඉටි පන්දම් වඩා දැඩි සහ වඩාත් අපැහැදිලි (Opaque) බවට පත් වේ. එය දැවෙන කාලය වැඩි කිරීමට, මෝල්ඩයෙන් පහසුවෙන් ඉවත් කිරීමට (Mould Release) සහ ඉටි බිංදු වැටීම (Dripping) අඩු කිරීමටද උපකාරී වේ. මේ නිසා Pillar Candles සහ Moulded Candles සඳහා එය බහුලව භාවිතා කරයි.

ස්ටියරික් අම්ලයේ වාසි

  • ඉටි පන්දම් වඩා දැඩි කරයි.
  • අපැහැදිලි බව (Opacity) වැඩි කරයි.
  • දැවෙන කාලය වැඩි කිරීමට උපකාරී වේ.
  • මෝල්ඩයෙන් පහසුවෙන් ඉවත් කිරීමට උපකාරී වේ.
  • ඉටි බිංදු වැටීම (Dripping) අඩු කරයි.

ස්ටියරික් අම්ලයේ සීමාවන්

  • සාමාන්‍යයෙන් ප්‍රධාන ඉටි වර්ගයක් ලෙස භාවිතා නොවේ.
  • අධික ප්‍රමාණයක් එකතු කළහොත් ඉටි පන්දම් අධික ලෙස දැඩි හෝ කැඩීමට පහසු විය හැකිය.
  • සියලුම ඉටි වර්ග හෝ ඉටි පන්දම් සඳහා සුදුසු නොවේ.

ස්ටියරික් අම්ලයේ භාවිතයන්

  • සබන් නිෂ්පාදනය
  • රූපලාවන්‍ය සහ සම සත්කාර නිෂ්පාදන
  • ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදනය
  • ඖෂධ නිෂ්පාදන
  • ඉටි Polish සහ අනෙකුත් ඉටි ආශ්‍රිත නිෂ්පාදන

11. ඉටි මිශ්‍රණ (Wax Blends)

වෙළඳපොළේ ඇති බොහෝ ඉටි පන්දම් ඉටි වර්ග තනි ඉටි වර්ගයකින් නොව, ඉටි වර්ග දෙකක් හෝ වැඩි ගණනක් මිශ්‍ර කර (Wax Blends) නිපදවනු ලැබේ. මෙය එක් එක් ඉටි වර්ගයේ හොඳ ගුණාංග එකට ලබා ගැනීමටත්, ඒවායේ සීමාවන් අඩු කිරීමටත් උපකාරී වේ.

ඉටි මිශ්‍රණ භාවිතා කරන්නේ ඇයි?

විවිධ ඉටි වර්ග මිශ්‍ර කිරීමෙන් පහත ගුණාංග වැඩි දියුණු කළ හැකිය.

  • සුවඳ විහිදීම (Fragrance Throw)
  • දෘඪතාව (Hardness)
  • දැවීමේ ගුණාත්මකභාවය (Burn Quality)
  • පෙනුම (Appearance)
  • පිරිවැය සහ සමස්ත කාර්යසාධනය (Overall Performance)

බහුලව භාවිතා වන ඉටි මිශ්‍රණ සහ ඒවාට වඩාත් සුදුසු භාවිතයන්

  • Soy Wax + Coconut Wax මෘදු, ක්‍රීම් වැනි නිමාවක් සහ හොඳ සුවඳ විහිදීමක් ඇති Container Candles සඳහා.
  • Soy Wax + Paraffin Wax ස්වාභාවික පෙනුමක් සමඟ ප්‍රබල සුවඳ විහිදීමක් අවශ්‍ය Container Candles සඳහා.
  • Paraffin Wax + Microcrystalline Wax වැඩි දෘඪතාවක් සහ නම්‍යශීලී බවක් අවශ්‍ය Pillar Candles, Moulded Candles සහ අලංකාර ඉටි පන්දම් සඳහා.
  • Coconut Wax + Beeswax මෘදු නිමාවක් සහ දිගු, පිරිසිදු දැවීමක් ඇති Premium Natural Container Candles සඳහා.
  • Palm Wax + Paraffin Wax වැඩි දෘඪතාවක් සහ අලංකාර ස්ඵටික (Crystal) රටා ඇති Pillar Candles සහ අලංකාර ඉටි පන්දම් සඳහා.

සෑම කාර්යයක් සඳහාම ගැලපෙන හොඳම Wax Blend එකක් නොමැත. භාවිතා කරන ඉටි මිශ්‍රණය නිෂ්පාදනය කරන ඉටි පන්දම් වර්ගය සහ ලබා ගැනීමට අවශ්‍ය කාර්යසාධනය අනුව වෙනස් වේ.

මෙම මාර්ගෝපදේශය විවිධ ඉටි වර්ග රැසක් ඉතා කෙටියෙන් සරල අවබෝධයක් ලබා ගත හැකිය. ඉටි වර්ගය මොනවද, එහි ප්‍රධාන ගුණාංග, වාසි, සීමාවන් සහ වඩාත් සුදුසු භාවිතයන් පිළිබඳව ඔබ ඉගෙන ගනු ඇත. ඉදිරියේදී එක් එක් ඉටි වර්ගය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක මාර්ගෝපදේශ වෙන වෙනම පළ කිරීමට අපි සැලසුම් කරමු.

නිවැරදි සහ නවතම තොරතුරු ලබා දීම සඳහා මෙම මාර්ගෝපදේශය නව ඉටි වර්ග, නිවැරදි කිරීම් සහ අමතර තොරතුරු සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ.